ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 41ක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී තිබූ කාලය අද මධ්‍යහන 12 ට අවසන් වුණා..

ඒ අනුව මේ වනවිට අපේක්ෂකයින් 41 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සැප්තැම්බර් මස 19 වැනිදා ආරම්භ කෙරුණු අතර ඒ සඳහා ලබාදුන් කාලය අද මධ්‍යාහන 12.00 න් අවසන් වුනා.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16ක්, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්‍ පස්දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර ඇත.

අද දිනයේත් හිටපු උතුරු සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් ඇතුලු අපේක්ෂකයින් පස්දෙනෙකු මෙලෙස ඇප තැන්පත් කිරීම සිදු කළේය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත අතර ඉන්පසු විරෝධතා දැක්වීමට අවස්ථාව හිමි වෙනවා.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනෙන හෙට දිනයේදී කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාශ 03ක සියළු පාසල් හා ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03ක් වසා තැබෙනු ඇති.

ඒ අනුව බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාශවල සියළුම පාසල් හෙට දිනයේ වසා තැබෙනවා.

ශී‍්‍ර ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ද හෙට දිනයේ මෙලෙස වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයින් අද පස්වරු 02.30 ට මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

 

Leave A Reply

Your email address will not be published.