පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයා ගනී

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි වෙනත් ග්‍රහලොවක වායුගෝලයේ ජල වාශ්ප පවතින බවට පර්යේෂණයකින් හෙළි වී තිබේ.

ඒ අනුව අදාළ ග්‍රහලෝකය ජීවය පැවතිය හැකි එකක් බව විද්‍යාඥයන්ගේ අදහසයි.

සෞරග්‍රහමණ්ඩලයෙන් පිටත දුරස්ථ තාරකාවක් වටා භ්‍රමණය වෙමින් පවතින K2 18B ග්‍රහලෝකයේ වායුගෝලය තුළ ජල වාශ්ප පවතින බව පළමු වරට හෙළි වී තිබේ.

අදාළ ග්‍රහලෝකයේ උෂ්ණත්වය පෘථිවියට බෙහෙවින් සමාන වන බවද විද්‍යාඥයන් පවසයි.

ඒ අනුව පිටසක්වල ජීවින් පිළිබඳ අධ්‍යයනය සඳහා අදාළ ග්‍රහලෝකය බෙහෙවින් සුදුසු බවයි විද්‍යාඥයන් පෙන්වා දෙයි.

ජීවය පැවතිය හැකි ග්‍රහලෝකයකින් ජල වාශ්ප ඇති බවට අනාවරණ කරගත් පළමු අවස්ථාව මෙය බව ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි විද්‍යාඥවරියක් ප්‍රකාශ කළේය.

නව අභ්‍යවකාශ දුරේක්ෂ භාවිතයෙන් වසර 10ක් ඇතුළත අදාළ ග්‍රහලෝකයේ වායුගෝලය තුළ අඩංගු වායූන් පිළිබඳව නිශ්චය කරගනු ඇත.

එහිදී ජීවින් සිටින කලාපයක පමණක් නිපදවෙන වායූන් වර්ග හඳුනා ගැනීමට හැකිවනු ඇතැයිද විද්‍යාඥයන් විශ්වාසය පල කරයි.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 111ක් දුරින් පිහිටා තිබෙන බැවින් කේ ටූ එයිටීන් බී ග්‍රහලෝකය වෙත පරීක්ෂණ කණ්ඩායමක් යැවීම දුෂ්කර බව පරීක්ෂණ කණ්ඩායමේ අදහසයි.

එබැවින් අදාළ ග්‍රහලෝකය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඇති එකම මග වැඩිදියුණු කරන ලද අභ්‍යවකාශ දුරේක්ෂ යොදාගැනීම පමණක් බවද ඔවුන් පෙන්වා දෙයි.

K2 18B ග්‍රහලෝකය පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල වන අතර එහි බර පෘථිවියේ ස්කන්ධය මෙන් අට ගුණයකි.

 

Leave A Reply

Your email address will not be published.