ඩයනා කුමරියගේ 22 වන සැමරුම අදයි

ලොව පුරා ගෞරවාදරයට පත් බ්‍රිතාන්‍යයේ රෝස කුසුම, වේල්සයේ ඩයනා කුමරියගේ 22වැනි අනුස්මරණය අද (31) ට යෙදී තිබෙනවා.

ඩයනා ෆ්‍රාන්සස් ස්පෙන්සර් නමින් 1961 වසරේදී උපන් ඩයනා කුමරිය කාගේත් ආදරයට ලක්වූ කාන්තාවක්.

ඉතා සැහැල්ලු දිවිපෙවෙතකට උරුමකම් කී ඩයනාට ඇගේ ජීවිතය වෙනස් කළ චරිතය වන බ්‍රිතාන්‍යෙය් කිරුළ හිමි චාල්ස් කුමරුන් හමුවන්නේ 1980 වසරේ දී.

ඔවුන් දෙදෙනා 1981 වසරේදී විවාහ වූ අතර මෙම රාජකීය විවාහ මංගල්‍ය, සියවසේ විවාහය ලෙසින්ද නම් කෙරුණා.

ඇය වේල්සයේ කුමරිය වුණේ ඉන් අනතුරුව යි.

විවාහයෙන් පසු විලියම් හා හැරී නමින් පුතුන් දෙදෙනෙක් පවුලට එක් වූවත්, ඒ වනවිට ඩයනාගේ සිතේ කිසිදු සතුටක් නොතිබුණු බව පසුකාලීනව හෙලිවුනා.

බොහෝ අය පැවසුවේ චාල්ස් හා ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ කැමිලා පාකර් අතර පැවැති පෙම් පලහිලව්ව ඊට හේතු වූ බවයි.

වසර දහයකට ආසන්න කාලයක් පැවැති අසාර්ථක විවාහයකින් වෙන්වූ ඩයනා ඉන් පසුව සිය කාලය මුලුමනින්ම පාහේ වෙන්කරන්නේ සුබසාධන කටයුතු සඳහායි.

පැමිණි දුක් අමතක කරමින් යුනිසෙෆ් වැනි සංවිධාන සමගින් එක්ව ලොව පුරා සංචාරය කරමින් ඒඩ්ස් ඇතුලු රෝගවල ගොදුරක් වූ පිරිස් ඉලක්ක කර වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ඩයනා කැපවන්නේ තව තවත් ජනතා ආකර්ෂණයක් දිනාගනිමින්.

1980-90 දශකයේ දී වැඩිම ඡායාරූප ප්‍රමාණයකට මුහුණදුන් කාන්තාව ලෙසින්ද ඇය කාගේත් අවධානයට ලක්වුනා.

ඩයනා කුමරිය හා ඇගේ පෙම්වතා වූ කෝටිපති ඩොඩී අල් ෆයිඩ් රැගත් මර්සඩීස් රථය 1997 වසරේ අගෝස්තු මාසයේ 31වැනිදා ප්‍රංශයේ පොන්ට් ඩේ ඉලාමා උමඟ තුළදී අනතුරට පත්වුණේ පැපරාසීන්ගෙන් පලා යාම සඳහා ගත් උත්සාහයකදීයි.

එහිදී සිදුවූ බරපතළ අනතුරු හේතුවෙන් 36 හැවිරිදි වියේ පසු වූ ඩයනා හා ඩොඩී දෙදෙනාම මියගියා.

Leave A Reply

Your email address will not be published.