රටට අවශ්‍ය ජාතික අපේක්ෂකයෙක්-සරත් විජේසූරිය

මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ජාතික අපේක්ෂකයෙකු බව සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව අවධාරණය කළේ, ජනාධිපතිවරණයේ සිය පුරවැසි න්‍යාය පත්‍රය එළිදැක්වීම සඳහා පැවැති උත්සවයකදීයි.

එම ජාතික අපේක්ෂකයා දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටීමට කල් මැන එන අයෙක් නොවිය යුතු අතර මේ රට නීතිය මත පාලනය කිරීමට අවශ්‍ය සම්ප්‍රදායන් ගොඩනැගීමට ඔහු කැපවෙන අයෙක් විය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම ඔහු ප්‍රධාන පක්ෂ 2න් එකක් නියෝජනය කරන අයෙකු විය යුතු බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර තමන් එම පක්ෂයෙන් ඉවත් වන බවට ප්‍රතිඥාවක් දිය යුතු බවත් සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කරයි.

මේ අතර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව තමන් තරග කළ පක්ෂයෙන් ඉවත් වී නිර්පාක්ෂිකව සිටින බවට ප්‍රතිඥා දෙන පුද්ගලයෙකුට සිවිල් සංවිධාන වල සහාය හිමිවන බව සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

“යහපාලනයේ ඉදිරි මඟ” නමින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන පුරවැසි න්‍යාය පත්‍රය එළිදැක්වීම ඊයේ පස්වරුවේ කොළඹදී සිදුකෙරුණි.

ඒ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධවයි.

කථානායක කරූ ජයසූරිය මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave A Reply

Your email address will not be published.