දේශපාලන පෙරළියක් අත ළඟයි

සංජක ප්‍රසාද් දොලේවත්ත ලියන සතියේ දේශපාලන විග්‍රහය

කලින් දවස

අද සිට සතිපතා වෙතින් ඔබට ගෙනෙන සතියේ දේශපාලන විග්‍රහය.. කලින් දවස.. මෙය ලියනු ලබන්නේ නව පරපුරේ ජනප්‍රිය පුවත්පත් කලාවේදියෙකු වන සන්ජක ප්‍රසාද් දොලේවත්ත විසිනි.

මේ ගෙවී යන්නේ ලංකා දේශපාලනයේ ඉතා සංකීර්ණ දින කිහිපයකි. අද දිනයේ සිට දින 42 ක් තුළ ජනාධිපතිවරණයක් නම් කළ යුතුව ඇත. ඒ නිසාම බලය මුල්කොටගත් ප‍්‍රචාරණ ව්‍යාපෘති හරහා විවිධ අනාගත ජනාධිපතිවරුන් පක්ෂ හරහා නම් කරයි. මේ වනවිට පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂත්, ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායකත් නම් කර අවසන් ය. 1947 ජූලි 7 වෙනි දින, ලංකා ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයට දෙවැනි රාජ්‍ය මන්ත‍්‍රණ සභාව විසිර වූ දින සිට මේ දක්වාම අපේ මැතිවරණ සංස්කෘතිය සෑදී ඇත්තේ පක්ෂය මුල්කොටගෙනය. සේනානායක පවුල මුල්කොටගනිමින් පිහිටුවාගත් එ.ජා.පයත්, 1951 සැප්තැම්බර් මාසයේ ඇස්.ඩබ්.බණ්ඩාරනායක පවුල මුල්කොටගනිමින් පිහිටුවාගත් ශ‍්‍රී.ල.නි.පෙත් හැරුණුකොට මීට වසර දෙකක් යනතුරුත් එම කඳවුරු දෙකට අභියෝග කීරීමට කාටවත් නොහැකිවිය. එය වෙනස් කළේ තවත් එවැනිම පවුලක් ය. ඒ රාජපක්ෂ පවුල පොදුජන පෙරමුණ පක්ෂය බිහිකිරීමෙන් ය. 60 දශකයේ අග භාගයේ රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළත් එම පක්ෂයට තවමත් පොදුජන ප‍්‍රවාහයට ඇතුළත් වීමට නොහැකි වී තිබේ. මෙවැනි සන්දර්භයක් තුළ දෛවෝපගතව රටේ නායකයා වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අවසන් දින 42 තුළ අපේ රට තුළ සිදුවිය හැකි දේශපාලන යතාර්ථයන් කෙබෙඳුද? ඔබ මේ මොහොතේ අසන, දකින දේශපාලන මායාවන් තුළ ඇති යතාර්ථයන් කෙබෙඳුද?
ගෝඨා නිසා හටගන්නා වෙනත් පක්ෂ උපක‍්‍රමයන් මේ මොහොතේ ඉතා සංකීර්ණය.
එයින් වඩාත් උගොතෝකෝටියකට පත්ව ඇත්තේ එ.ජා.පයයි. ඔවුන් තීරණය කරන අපේක්ෂකයා අනුව ලංකාවේ දේශපාලන අනාගතය සපුරා වෙනස් වීමට නියමිතය.
සජිත් පේ‍්‍රමදාසගේ ජනපති අපේක්ෂක උනන්දුව එ.ජා.පයේ අභ්‍යන්තරයට අස්වාභාවික වූවත් පාක්ෂිකයාට එය ස්වාභාවිකයකි. නමුත් සජිත් දිනවන්නත්, පරාජය කරවන්නත් මැජික් යෂ්ඨිය ඇත්තේ රනිල් සතුවය. රනිල්ගේ නව ලිබරල් ප‍්‍රතිපත්තීන් සහ සජිත්ගේ ගම් උදා ප‍්‍රතිපත්තීන් සමග ගැටුම ඇතිවන්නේ එසේය. ”සජිත් බය නැතිව ඔයා තරග කරන්න ඔයා දිනනවා අපේ පූර්ණ සහයෝගය අපි ඔයාට දෙනවා” එසේ කියන සමහර එ.ජා.ප තරුණ ජ්‍යෙෂ්ඨයින්ගේ යටි හිතේ ඇත්තේ වෙනත් අනාගත බලාපොරොත්තුවක්ය. ඒ සජිත් යම් හෙයකින් පරාජයට පත්වූවොත් එ.ජා.පයේ අලූත් දොරගලූ කිහිපයක්ම හැරෙන නිසාය.
කෙසේවෙතත් එළැඹෙන සිකුරාදා ජනපති විසින් සජිත් පේ‍්‍රමදාසට දරුණු ගණයේ අගමැති ඇමක් දෙන බවට වටපිටාවේ කටකතා පවතී. එය එසේ වීමටද පුළුවන. එතරම්ම මෙම දින 41ක තීරණාත්මකය. එසේ වූවොත් තම පියා වූ රණසිංහ පේ‍්‍රමදාසට එරෙහිව ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක පිහිට වූ රාජ අලියා පක්ෂයෙන් සජිත් ප‍්‍රමුඛ මෛත‍්‍රී, මංගල කණ්ඩායමක් ජනාධිපතිවරණයේදී තරග කරනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය තීරණය වන්නේ එළැඹෙන මැතිවරණයේදී UNP ඡන්දවලින්මය.

සංජක ප‍්‍රසාද් දොලේවත්ත

Leave A Reply

Your email address will not be published.