අන්තවාදය පතුරවන සියලු ක්‍රියාකාරකම් තහනම් කරන්න

කිතුණු ජනතාවට කතෝලික දේවස්ථානය අහිමිකළා සේම බෞද්ධ ජනතාවට විහාරස්ථාන අහිමි වන තැනට ත්‍රස්තවාදය පැතිරෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(29) පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ රට මේ තත්ත්වයට පත්කළ නායකයින් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් පැවසීය.

“කොටි ත්‍රස්තවාදයට එරෙහි සටන පැවැති 30 වසරක කාලය තුළ පවා මුහුණ නොදුන් ඛේදනීය ඉරණමකට පාස්කු ඉරිදා මේ රටේ ජනතාව මුහුණ දුන්නා.

වහාබ්වාදී ත්‍රස්ත ප්‍රහාර මෙරට කිතුණු ජනතාවට තම දේවස්ථානය අහිමි කර තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ පාලනය යුද බිය තුරන් කොට කිතුණු ජනතාවට මඩු පල්ලියට යාමට අවස්ථාව උදාකර දුන්නා. නමුත් මේ ආණ්ඩුව අද කිතුණු ජනතාවට තමන්ගේ ගේ ඉදිරිපිට පල්ලියට යාමේ අවස්ථාවත් අහිමිකර තිබෙනවා.

දැනට ලැබී ඇති තොරතුරු අනුව කිතුණුවාට පල්ලිය අහිමි කරනවා පමණක් නොවෙයි බෞද්ධයාට පන්සල අහිමි කරන තැනට මේ වහාබ් ඉස්ලාම් අන්තවාදය ගමන් කරමින් සිටිනවා.

එළඹෙන මාසයේ වෙසක් කලාපයන් ජනශූන්‍ය තැන් බවට පත්වීමේ ඉඩකඩක් නිර්මාණය වී තිබෙනවා. වත්මන් පාලකයන් රටේ ජනතාව වැටී ඇති විපතේ ගැඹුරු හා දිග, පළල ගැන කිසිවක් නොසිතා තම සුපුරුදු පාලනය ගෙන යනවා.

මේ රට අද මුහුණ දී තිබෙන්නේ, ප්‍රධාන වශයෙන් ගෙවී ගිය අවුරුදු හතරහමාර තුළ බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ ප්‍රතිවිපාකවලටයි, මේ රටේ ආරක්ෂක හමුදාවලට තම වගකීම ඉටු කිරීමට ඉඩ නොදීමේ ප්‍රතිවිපාකවලටයි.“

 

Leave A Reply

Your email address will not be published.