පාසල් හා සරසවි විවෘත කිරීම මැයි 6 වැනිදා

පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.

ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී අනාවරණය කෙරුණේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බොහෝ පිරිස් සහ පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

ත‍්‍රස්තවාදයට නැවත සංවිධානය වීමට කිසිදු ඉඩක් නොතබා මෙම ත‍්‍රස්ත ව්‍යාපාරය රටින් මුලිනුපුටා දැමීමේ ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව සහ ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේ ය.

විභාග පවත්වන ස්ථානවලට දැඩි ආරක්ෂාවක් සැපයීම පිළිබඳව ද සාකච්ජා කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ මැයි දින සැමරුම් නොපවත්වන ලෙස ද මෙහිදී ජාතික ආරක්ෂක මණ්ඩලය සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

රාජ්‍ය ආයතන සහ ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් සඳහා මෙන් ම මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට පුළුල් ආරක්ෂාවක් සැපයීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළක් සඳහා ද ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

Leave A Reply

Your email address will not be published.