වෑන් රථයේ බෝම්බය පුපුරා ගිය හැටි

ඊයේ(22) පළමු පිපිරීම වූ කොච්චිකඩේ දේවස්ථානයට ආසන්නයේ නවතා තිබූ වෑන්රථයක ඇති බෝම්බයක් සොයාගැනීමට ආරක්ෂක අංශ අද සමත් වූ අතර එම බෝම්බය ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පියවර ගත්තේය.

ඊයේ උදෑසන කොච්චිකඩේ ශාන්තඅන්තෝනි කතෝලික දේවස්ථානයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සූක්ෂ්ම පරීක්ෂාවක් සිදුකර ඇති අතර එම පිපිරුමට සැකකරු පැමිණි බවට සැක කෙරෙන වෑන් රථයක් දේවස්ථානය ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

වෑන්රථය නවතා තිබී ඇත්තේ දේවස්ථානයේ සිට මීටර 500 ක් පමණ කොටුව දෙසට වන්නටයි.

ඒ අනුව අද සිදු කළ පරීක්ෂාවේදී වෑන් රථය තුළ සැක කටයුතු යමක් පවතින බව ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබේ.

ඒ සමඟම පළමු පියවර ලෙස අදාළ වෑන් රථය ආසන්නයෙන් ජනතාව ඉවත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය වහාම කටයුතු කළේය.

එමෙන්ම එම අවස්ථාවේදී පුද්ගලයෙක් පොලිස් භාරයට ගැනීමට පියවර ගත් අතර එහිදී අවට ප්‍රදේශවාසීන් ඔහුට පහරදීමට උත්සාහ කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක්ද හටගත්තේය.

ඉන් පසුව සවස 4.05 ට පමණ ආරක්ෂක පියවර අනුගමනය කරමින් , වෑන් රථය තුළ ඇති බෝම්බය ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පියවර ගත්තේය.

බෝම්බය පුපුරුවා හැරීමත් සමඟ වෑන් රථය මුළුමනින්ම විනාශ වූ අතර ඒ අවට ගොඩනැඟිලි කිහිපයකටද හානි සිදු විය.

කෙසේවෙතත් අනුගමනය කළ පියවර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවීම වළක්වාගැනීමට ආරක්ෂක අංශ සමත්විය.

මෙම වෑන් රථයේ පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර ඉන් එක් අයෙකු ඊයේ කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමට සම්බන්ධ පුද්ගලයා බවට ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.

වෑන් රථයේ පිටුපස වීදුරුව තිරවලින් ආවරණය කර තිබූ බව පැවසෙයි.

එම තිරවලට ආවරණය වන ලෙසින් ගෑස් සිලින්ඩර හතරක් වෑන් රථයේ පිටුපස තිබූ බවත් , එහි දොරක් විවෘත කර විට එම සිලින්ඩර සම්බන්ධ බෝම්බය පුපුරා යන ආකාරයට සකස්කර තිබූ බවත් ආරක්ෂක අංශ සඳහන් කළේය.

එසේම රුපියල් දහසේ නෝට්ටු කිහිපයක්ද වෑන් රථයේ අසුනක් මත තිබී සොයා ගැනුණි.

කිසිවකු එම නෝට්ටු ගැනීම සඳහා දොර විවෘත කළ විට බෝම්බය පුපුරා යන ආකාරයට සැලසුම් කර තිබූ බවට විශ්වාස කෙරෙයි.

මෙලෙස බෝම්බයක් තිබී පුපුරුවා හැරුණු වෑන් රථය ඊයේ දිනයේත් දේවස්ථානය ආසන්නයේ නවතා තිබෙන අයුරු මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක ඉදිරිපස කැමරාවේ  සටහන්ව තිබුණා.

ඊයේ දේවස්ථානය තුළ බෝම්බය පුපුරා යන ආකාරය සජීවිව සටහන්ව තිබුණේද මෙම කැමරාවෙයි.

මේ අතර හිමිකරුවකු නොමැති තවත් සැකකටයුතු මෝටර් රථයක් වැලිසර නවලෝක ක්‍රීඩාංගණය ඉදිරිපිට නවතා තිබූ අතර ආරක්ෂක අංශ එයද පරීක්ෂාවට ලක් කළා.

ඒ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය පැය කිහිපයක් තාවකාලිකව වසාදමමින්.

කෙසේ වෙතත් එම රථය තුළ බෝම්බයක් නොමැති බව පසුව තහවුරු වී තිබේ.

කොච්චිකඩේ දේවස්ථානය අසල අද දින බෝම්බයක් සහිත රථය ආරක්ෂිතව පුපුරාවහැරීමෙන් පසු ආරක්ෂක අංශ ප්‍රදේශයේ පුළුල් සෝදිසි මෙහෙයුමක්ද දියත් කළේය.

Leave A Reply

Your email address will not be published.