හෙටින් පස්සේ ලයිට් කපන්නේ නෑ – රවී

හෙට(10) දිනයෙන් පසු යළිත් විදුලි කප්පාදු කිරීමක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා අද යළිත් අවධාරණය කළේය.

කෙසේ වෙතත් පැය හතරක් වූ පැවති දෛනික විදුලි කප්පාදුව ඇතැම් බදුල්ල හාලි ඇල ප්‍රෙද්ශයට ඊයේ(08) පැය දහයක කාලයක් විදුලිය කප්පාදු කිරීමේ පුවතක් ද වාර්තා විය.

දිවයින පුරා පැය 4ක කාලයක් දෛනිකව විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවද, හාලි ඇල නගරය ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශයට ඊයේ පැය 10ක පමණ කාලයක් විදුලි කප්පාදු කර තිබූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ඊයේ පෙරවරු 8 සිට පෙරවරු 11.30 දක්වා සහ පස්වරු 1 සිට රාත්‍රි 7 දක්වා මෙලෙස විදුලි කප්පාදු කර තිබුණි.

මේ අතර පවතින විදුලි කප්පාදුවට එරෙහිව ගලිගමුව ප්‍රාදේශීය සභාවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා සභාපතිවරයා මාසික සභා වාරයේදී අද සිය විරෝධය පළ කළේය.

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ද විදුලි කප්පාදුවට එරෙහිව හුළු අතු සහ විදුලි පන්දම් දල්වමින් අද මාසික සභා වාරයේදී මෙලෙස සිය විරෝධය පළ කළේය.

මේ අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විදුලි ජනක යන්ත්‍ර වලින් 25%ක ප්‍රමාණයක් විදුලිය ලබාගතහොත් පවතින විදුලි කප්පාදුව අවසන් කළ හැකි බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් හෙට දිනයෙන් පසු යළි කිසිඳු ලෙසකින් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා අද යළිත් අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.