ඊශ්‍රායල මහ මැතිවරණය ඇරඹේ

ඊශ්‍රායල මහ මැතිවරණය අද (9) ආරම්භ වූ අතර මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇත.

අගමැති බෙන්ජමින් නෙදන්යාහු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පස්වැනි අවස්ථාව මෙය වනු ඇත.

ඊශ්‍රායල අගමැතිවරයාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වී ඇත්තේ එරට හමුදාවේ හිටපු ජෙනරාල්වරයකු වන බෙනී ගාන්ට්ස් ය. පිරිසුදු ආණ්ඩුවක් ස්ථාපිත කරන බවටත් සමගිය සහ එකමුතුකම ඇති කරන බවටත් ඔහු පොරොන්දු දී ඇත.

මැතිවරණ ප්‍රචාරණ සමයේදී ප්‍රතිවාදී පක්ෂ අතර අන්තර්ජාලය ඔස්සේ දූෂණය, වංචාව, ආරක්ෂාව ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් දරුණු මත ගැටුම් ඇති විය.

ගාන්ට්ස් මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ ‘නිල් සහ සුදු’ නමැති පක්ෂයකිනි. එම පක්ෂය මධ්‍යස්ථ මතධාරී පක්ෂයකි. එම පක්ෂය ඊශ්‍රායල හමුදාවේ හිටපු ජෙනරාල්වරු බොහෝමයක් සම්බන්ධ වී සිටිති.

නෙදන්යාහුගේ ක්‍රියාකලාපය ඔවුන් බොහෝ දෙනකුගේ විවේචනයට ලක්ව තිබෙන අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිවරයා අනුගමනය කරන ක්‍රියාමාර්ග ද ඔවුන්ගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

Leave A Reply

Your email address will not be published.