නිදහස් දින උත්සවයට ආරාධනා නොකළාට පොදු ජනතාවගේ නිදහසේ වීරයා මහින්ද රාජපක්‍ෂයි

වසර 30කට අධික කාලයක් තිස්සේ මෙරට යුද්ධයක් සිදු කළ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය ලබාදුන් මේ රටේ පස්වැනි විධායක ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට 71 වැනි ජාතික නිදහස් දින උත්සවයට ආරාධනා නොකිරීමෙන් මේ ආණ්ඩුවට තිබෙන ‘රාජපක්ෂ’ භීතිකාව වඩා හොඳින් පෙන්නුම් කෙරෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.

වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ජාතික නිදහස් උත්සවයට ආරාධනා නොකිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ ඒ මහතා රට හා රටේ පොදු මහජනතාව වෙනුවෙන් විපක්ෂයේ නියම කාර්යභාරය ඉටුකරන නිසා බවත් ඉන්දික අනුරුද්ධ මහතා පෙන්වා දෙයි.

මීට පෙර වසර 4දීම පැවැති ජාතික නිදහස් දින උත්සවවලට එවකට විපක්ෂ නායකව සිටි දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මහතාට ආණ්ඩුව ආරාධනා කළේ ඒ මහතා විපක්ෂයේ භූමිකාව වෙනුවට ආණ්ඩුවේ භූමිකාව සිදු කළ නිසා එනම්, කඩේ ගිය නිසා බවද අනුරුද්ධ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

අය – වැය ඇතුළු ආණ්ඩුවේ හැම පනතකටම පාර්ලිමේන්තුව තුළ පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවෙන් බේරාගැනීමට සහයෝගය ලබාදෙමින් මේ වන විට වර්තමාන ආණ්ඩුවේ බහුතරය ආරක්ෂා කරදීම වෙනුවෙන් ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත්වී තිබෙන බවද ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයා සඳහන් කරයි.
රට බේරාගත් නායක මහින්ද රාජපක්ෂ මහතාට මෙම ආණ්ඩුව ජාතික නිදහස් දින උත්සවයට ආරාධනා නොකළාට රටේ අති බහුතරයක් පොදු මහජනතාවගේ නිදහසේ වීරයා මහින්ද රාජපක්ෂ මහතා බව තමා ආණ්ඩුවට සිහිපත් කර දෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

මව්බිම

Leave A Reply

Your email address will not be published.