මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.

President of Sri Lanka Maithripala Sirisena

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වන විට නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 70 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින්ය.

මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා නව ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, සාම සාධන ක්‍රියාවලීන් සඳහා වන ශ්‍රී ලාංකාවේ දායකත්වය තව දුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන බවත් එහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.

අපගේ සමාජ සහ මානව සංවර්ධන ප්‍රවේශයෙහි පදනම වන්නේ බහුවිධත්වය, සංහිඳියාව, සහ තිරසර සංවර්ධනය බවත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අත්‍යවශ්‍ය සංශෝධන හඳුන්වා දීමට මාගේ පාලනයේ පළමු මාස හය තුළ දී ම කටයුතු කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා සතු වූ විධායක බලතල බොහොමයක් මාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුවට සහ වෙනත් ස්වාධීන ආයතන වෙත පැවරීමට කටයුතු කළ බවත්,රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව ගොඩ නැගූ සම්මුතික රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීමට මම ක්‍රියා කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම අතීතය සමග අවංකව ගනුදෙනු කිරීම සහ නූතන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැගීම අප හමුවේ ඇති මූලික අවශ්‍යතාවක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ආයතනික ප්‍රතිසංස්කරණ තව දුරටත් වේගවත්ව කිරීමට සම්මුතික රජය මේ වන විටත් ඉදිරි පියවර ගණනාවක්ම ගෙන ඇති බවත්, සියලු ආකාරයේ යුද ගැටුම් සහ ත්‍රස්තවාදී ක්‍රියා මනුෂ්‍යත්වයට නිගා දෙන ක්‍රියාකාරකම් ය යන්න අවිවාදිත බවද ඒ මහතා එම අවස්ථාවේදී අවධාරණය කළේය.

ධරණීය සංවර්ධනය සඳහා ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර සිදුවන සංවාදය මෙන් ම දකුණ සහ දකුණ අතර ඇතිවන සංවාදය ද වැදගත් බවත්,ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ පැරණිතම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට හිමකම් කියන රටවල් අතර ඉදිරියෙන් සිටින බවත්, නිදහස ලැබූ දා පටන් ම, ලංකාව අර්බුද මධ්‍යයේ වුව ද, මානව සංවර්ධන දර්ශකයන්හි ඉහළ අගයක් අත් කර ගැනීමට සමත්ව සිටින බවද හෙතෙම කියා සිටියේය.

තිරසර සංවර්ධනයේ ගාමක බලවේගය වන්නේ ද තාරුණ්‍යය බවත්, තරුණ පරපුර 21 වැනි සියවසෙහි දැනුම් පාදක ලෝකය ජය ගත හැකි නිපුණතා පූර්ණ ශ්‍රම බලකායක් බවට පරිවර්තනය කිරීම අපගේ ව්‍යායාමයේ ආරම්භක ලක්ෂයක් බවත්, කාන්තාවන් සවි බල ගන්වන ජාතික වැඩ පිළිවෙළක් මගින් සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී කීවේය.

එසේම ළමා පරපුරෙහි ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වැඩපිළිවෙළ කාර්යක්ෂම සහ මානුෂීය සමාජයක් ගොඩනැගීමේ අත්‍යවශ්‍ය සාධකයක් බවත්,මිනිසා, සංවර්ධනයේ නාමයෙන්, මිහි මඬල පුරා විසිර ඇති ස්වභාවික සම්පත් පාලනයකින් තොරව සහ අත්තනෝමතික ලෙස සූරා කමින් සිටින බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.

අන්තවාදයට ද අති පාරිභෝජනවාදයට ද, අත්තනෝමතික පරිසර වි‍නාශයට ද, අනෙකාගේ මානව හිමිකම් උල්ලංඝණයට ද, විෂම අදායම් පරතරයට ද වගකිවයුත්තා වන්නේ මිනිසුන් වන අප හට, අප තුළම ඇති දුර්වලතා මැඩ පවත්වා ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් බවත් ඒ මහතා එහිදී අවධාරණය කර සිටියේය.

තිරසර සංවර්ධනය නම් දෙවොල ගොඩ නැගිය යුත්තේ ස්වයං ශික්ෂණය සහ සම සාධාරණත්වය නම් අත්තිවාරම මත බවත්,ජාතික නායකයින් වශයෙන් රැස්ව, විශ්ව ක්‍රියාකාරී සැලැසුම් නිර්මාණය කිරී‍මේදී, මා විසින් ඉහතින් සඳහන් කරනු ලැබූ ස්වයං-ශික්ෂණය සහ සම-සාධාරණත්වය පදනම් කර ගත් ප්‍රවේශය ආදර්ශයට ගන්නා ලෙස යෝජනා කරන බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.